Skip to Main Navigation
කථා සහ පිටපත්2023, ජූලි 18

යළි ගොඩ නැගෙන ශ්‍රී ලංකාව : හරිත, ඔරොත්තු දීමේ හැකියාවැති සියලු දෙනාට ම ප්‍රතිලාභ බෙදී යන සංවර්ධනයක්

ආරාධිත දේශනය

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ, ෆාරිස් හදාද්-සාර්වෝස් මහතා විසිනි.

දේශනය පැවැත්වීම සඳහා සැකසූ පරිදි

සුභ සන්ධ්‍යාවක් ! ආයුබෝවන්! වනක්කම්!

සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි!

ආර්ථිකය යළි ගොඩ නැංවීම  සඳහා ශ්‍රී ලංකාව තෝරාගත යුතු මාවත සම්බන්ධයෙන් සහ හරිත, ඔරොත්තු දීමේ හැකියාවැති හා සියලු දෙනාටම ප්‍රතිලාභ බෙදී යන සංවර්ධනයක් උදෙසා, සංවර්ධන හවුල්කරු වශයෙන් ලෝක බැංකුව ඊට සහය වන අයුරු සාකච්ඡා කිරීමට මෙහි රැස්ව සිටින ඔබ සැම හා එක්වීමට ලැබීම මට සතුටකි.  

ශ්‍රී ලංකාව දැනට මුහුණ පා සිටින පෙර නොවූ  විරූ අර්බුද රාශය පිළිබදව මේ වනවිට අපි සැවොම හොඳින්ම දන්නෙමු. 

දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණුතම ආර්ථික අර්බුදය අපට දැකගන්නට ලැබුණේ, මීට මාස 12ක ට පමණ පෙර, එනම්, පසුගිය වසරේ මෙම කාලවකවානුවේ දී ය.

ඒ අනුව, 2022 වර්ෂයේ දී සියයට 7.8කින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිළුණු අතර, 2023 මුල් කාර්තුවේ දී එය සියයට 11.5ක් විය.

මහජනතාවගේ ජීවන තත්ත්වයන්ට තදබල අනිටු බලපෑම් ඇති කිරීමට ‍එම ආර්ථික අර්බුදය හේතු වූ අතර, එය වඩාත්ම තදින් දැන‍ුණේ, දිළිඳු හා අවදානමට ලක්වීමේ හැකියාව ඇති (අනතුරාසන්න) පිරිස් හට ය.  පසුගිය කාලයේ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබූ සංවර්ධනයේ දියුණුවට ද එය බලවත් පහරක් විය.   

2021 සහ 2022 අතර කාලයේ දී සියයට 13.1 සිට සියයට 25 දක්වා දිළිඳු භාවය දෙගුණයක් වූ බවට අප ගණන් බලා තිබේ .  මිලියන 2.5ක අමතර ජනතාවක් දිළිඳු භාවයට පත්ව තිබෙන අතර  2023 වන විට එම තත්ත්වය තවත් සියයට 2.4කින් ඉහළ යනු ඇතැයි අප අදහස් කරන්නෙමු.   

තවත් බොහෝ අයට දිළිඳු භාවයේ කම්පනය දැනෙන දිනය වැඩි ඈතක නොවෙයි.  ජනගහනයෙන් සියයට 5.7ක් පමණ දරිද්‍රතා මට්ටමින් සියයට 10 කට අඩු මට්ටමේ ජීවත් වන බවට අප ගණන් බලා තිබේ.  එසේම, සියයට 10ක සහ සියයට 20ක දරිද්‍රතා මට්ටමෙන් ඉහළ සිටින ජනතාව සියයට 5.6ක් පමණ වන බවටත් අප ගණන් බලා තිබේ.

දරිද්‍රතාව සහ අවදානමට ලක්වීමේ හැකියාව මෙසේ අතිශයින් ඉහළ යාම නිසා, දශක ගණනාවක් තිස්සේ අත්පත් කරගත් මානව ප්‍රාග්ධනය විනාශයට පත් ව ඇත. උදාහරණයක් වශයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන් තදබල අර්බුදයක් දැනට රටේ පවතී.  3 වන ශ්‍රේණියේ ළමුන් අතරින් සාක්ෂරතාව පිළිබඳ අවම නිපුණත්වය අත්පත් කරගෙන ඇත්තේ 14%ක් පමණි.  ඔවුන් අතරින් සංඛ්‍යාත්මක නිපුණත්වය අත්පත් කරගෙන ඇත්තේ 15%ක් පමණි.     

රටටත් ජනතාවටත් මුහුණ පාන්නට සිදු වූ මෙම අතිශය ඛේදජනක තත්ත්වයන් නිසා, රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා බලවත් ප්‍රතිසංස්කරණයන් මෙන්ම දිළිඳු සහ අනතුරාසන්න පිරිස් ආරක්ෂා කරගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොබියව ගැනීමත් කළ යුතු ව ඇත.  

මින් පෙර නොවූ විරූ මෙකී අතිවිශේෂ අභියෝගයන් හමුවේ ශ්‍රී ලංකාවේ මහජනතාව පෙන්නුම් කර ඇති ඔරොත්තු දීමේ ශක්තිය පුදුම සහගත ය.

ආහාර, ඖෂධ, ඉවුම්-පිහුම් සඳහා වන ගෑස් ආදී මූලික අවශ්‍යතා හිඟ ව පැවති පසුගිය වසරේ දී ඔවුන්ගේ එම ඔරොත්තු දීමේ හැකියාව මනාව පෙන්නුම් කෙරිණ.  මානසිකව කඩා වැටෙනු වෙනු‍වට, එකිනෙකා වෙත සහය දැක්වීමටත්, අසීරුතා ජයගැනීම සඳහා නවතම විසඳුම් සොයාගැනීමටත් ඔවුන් පෙළඹුණේ ඒවාට ප්‍රතිචාර වශයෙනි.

වසරක කාලයක් ඇතුළත, ආර්ථිකය මුහුණ පාන තදබල අභියෝගයන් සම්බන්ධයෙන් සිදු කරන ලද නිසි කටයුතුවලින් මනා ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.  

ඒ අනුව, මේ වනවිට රට එළඹ සිටින්නේ, ආර්ථිකය යළි ගොඩ නගමින් පවතින අදියරකට ය.  සඳහා අවශ්‍ය යම් යම් අසීරු ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ හරහා ආර්ථිකය  නැවත ගොඩ නැගෙමින් පවතින අතර එය  සතුටට කරුණකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගුකාලීනව සලසන මූල්‍ය පහසුකම ලබා ගැනීමට සමත් වීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සහ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ජාත්‍යන්තර මූල්‍ය  සහය ලබාගැනීමට සමත් වීම ආදී සාර්ථකත්වයන් ගැන, ශ්‍රී ලංකා රජයට සුභ පැතීමට අප මෙය අවස්ථාවක් කරගනිමු.

යහපත් ප්‍රතිඵල අපේක්ෂිත බලවත් ප්‍රතිසංස්කරණ අඩංගු න්‍යායපත්‍රයකට අනුව යම් යම් අසීරු හා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට රජය ක්‍රියා කර ඇත.  බදු ප්‍රතිසංස්කරණයන්, පිරිවැය පිළිබිඹු වන ආකාරයෙන් උපයෝගීතා මිල ගණන් නියම කිරීම්, සවිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කරුණු  එකී අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අතර වේ.   

2022 හා සන්සන්දනය කරන කල, පසුගිය මාස කිහිපයේ දී රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ යම් යම් සුබ ලකුණු පහළ ව ඇති බව අපට පෙනෙයි.  2022 සැප්තැම්බර් මස 69.8% වශයෙන් පෙන්නුම් කළ උද්ධමනය, 2023 ජුනි මාසය වනවිට 12% දක්වා පහළ බැස ඇත.

වෙළඳපොළ පොලී අනුපාතිකයන් ද පහළ වැටෙමින් පවතින්නේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතතා කෙමෙන් මැකී යන හෙයිනි.  ‍එසේම, විදේශ විනිමය ද්‍රවශීලතාව පිළිබඳ කාරණා ද ධනාත්මක මගකට යොමුව ඇත.  

එසේ නමුත්, අප තවමත් මෙම දුෂ්කර ගමනේ නිමාවට පැමිණ නැත.  ශ්‍රී ලංකාව යළි ආර්ථිකය ගොඩ නැංවීම කරා කරා යන මාවතේ නොනැවතී ගමන් කරන තිර අදිටන පෙරදැරි කරගෙන කටයුතු කළ යුතු ව ඇත.

ශ්‍රී ලංකාවේ යළි ආර්ථිකය ගොඩ නැංවීම කරා සම්බන්ධයෙන් ඉදිරි වසර දෙකක කාලය ඉතාමත් තීරණාත්මකය.  ඒ හා ගත් කල, තවදුරටත් සමීපව නිරීක්ෂණය කළ යුතු තවත් වැදගත් කරුණු බොහොමයක් ද ඇත.   

මෙහිදී ප්‍රධානතම අවාසිදායක අවදානම වන්නේ, දිගින් දිගටම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියයි.  එය, ආර්ථිකය සම්බන්ධයෙන් දැනටත් වඩා අවිනිශ්චිත වාතාවරණයක් ඉදිරියේ දී නිර්මාණය කිරීමට ඇති ඉඩකඩ ඉහළ නංවයි.

ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මන්දගාමී ලෙස හෝ අසමාන ලෙස ක්‍රියාවට නැංවීමෙන් රට ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමේ සහ ශ්‍රී ලාංකේය ආර්ථිකය කෙරෙහි විශ්වාසය තැබීමේ හැකියාව තවදුරටත් ප්‍රමාද කිරීමට ඉඩ ඇත.

ගෝලීය ආර්ථික වාතාවරණයේ අස්ථාවර භාවය, පවතින අවදානමට තවත් හේතු සපයයි.  දිගින් දිගටම ඉහළ යන හෝ තවදුරටත් ඉහළ නැංවෙන හෝ බඩු මිල නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමේ හැකියාව වඩාත් අසීරු තත්ත්වයකට පත් කරන අතර, ගෝලීය ආර්ථිකයේ හැකිළීම, ශ්‍රී ලංකාවේ පණ ගැන්වුණු  සංචාරක කර්මාන්තය නැවතත් අඩාල වීමට සහ අපනයන ඉල්ලුම අඩු වීමට ද හේතු විය හැකියි.     

රාජ්‍ය අංශය විසින්, ඉහළ නැංවෙන අකාර්යක්ෂම වත්කම් සහ ද්‍රවශීලතාව පිළිබඳව පවතින දැඩි අසීරු තත්ත්වයන් වෙත වැඩි අවධානයක් යොමු කරමින්, මූල්‍ය අංශය ඉතා හොඳින් අධීක්ෂණය කළ යුතු වේ.

වර්ධනය, ආදායම, සහ රැකියාවන් පිළිබඳ අර්බුදය හේතුවෙන් අනාගතයේ දී මතු විය හැකි බියකරු අනිටු බලපෑම් ගැන ද අපට දැඩි කනස්සල්ලක් ඇත.  තවදුරටත් අර්බුදය පවතින විට, රට වැසියන් වැඩි වැඩියෙන් රට හැර යන තත්ත්වයක් උදා විය හැකියි.  අසීරුතාවන්ට මුහුණ පාන පවුල්, සිය දරුවන් පාසල් වලින් ඉවත් කරගැනීමට ද ඉඩ ඇත.  තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන්  තම වත්කම් විකුණා දැමීමට සමාගම් විසින් තීරණය කළ හැකිය.  දරාගැනීම සම්බන්ධයෙන් වන මෙවැනි සෘණාත්මක යාන්ත්‍රණ වල අවසන් ප්‍රතිවිපාකය ලෙස අපට දැකිය හැක්කේ, රටක් ලෙසින් වර්ධනයට, වැඩිදුර රැකියා අවස්ථාවන් හා ආදායම් නිර්මාණයට ඇති හැකියාව එමගින් අවම වීම ය.      

සමාජ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ ඉතාමත් ප්‍රවේශමෙන් ක්‍රියාවට නැංවීම කළ යුතු වන්නේ, එමගින් දිළිඳු සහ අනතුරාසන්න පිරිස් තවදුරටත් ණය බරින් මිරිකීම වළක්වාගත හැකි වන බැවිනි.

ආර්ථිකය නැවත  ගොඩ නැංවීමේ මාර්ගය වෙත යොමු ව ඇති ශ්‍රී ලංකා රජයට සහය දැක්වීමට අප ඇප-කැප වී සිටින්නෙමු.  අප ඉහතින් දක්වා ඇති අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාවට නැංවීම එතරම් පහසු නොවේ.  දේශපාලන අභිමතයෙහි සවිමත් භාවය, පුළුල් සංගණන හා අදහස් විමසීම්, සහ සංවර්ධන හවුල්කරුවන්ගේ නොමද සහය ආදී බොහෝ දෑ එහිදී අවශ්‍ය වනු ඇත.

අප විසින් නිර්මාණය කළ, ශ්‍රී ලංකාව සඳහා වන නව හවුල්කාරිත්ව කාර්යරාමුව (Country Partnership Framework - CPF) අදාළ වන්නේ මෙතැන දී ය.  ලෝක බැංකු සමූහයේ  මෙම නව හවුල්කාරිත්ව කාර්යරාමුව ද  ආර්ථික ස්ථායි භාවය නැවත ඇති කිරීම සහ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සඳහා මෙන්ම (Sri Lanka Resilience , Stability and Economic Turnaround Policy Operation - RESET DPO)  සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ඇ.ඩො. මිලියන 700 ක මූල්‍ය සහය  මේ අසීරු අවස්ථාවේ දී ශ්‍රී ලාංකේය ජනතාව වෙත අප විසින්  සිදුකරන  බලවත් කැපවීමයි.    

COVID-19 වසංගතයට සහ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, සිය පවත්නා ව්‍යාපෘති ප්‍රතිව්‍යුහ ගත කර බෙදා නොහරින ලද අරමුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක්  ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසා වෙන් කරන ලදී.  ඒ හරහා, රාජ්‍ය අංශයේ පැවැත්ම සහතික කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් ජනතාව වෙත අඛණ්ඩව සැපයීමත්, අවදානමට ලක්ව ඇති ජන කොටස් රැක ගැනීමත් , ජීවනෝපායයන් වෙත සහය ලබාදීමත්, සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීමත් සහතික කෙරිණ.

ශ්‍රී ලංකාව සඳහා වන නව හවුල්කාරිත්ව කාර්යරාමුව (Country Partnership Framework – CPF) මගින් අදියර දෙකක ප්‍රවේශයක් සකසා ඇත.  එහිදී, මුලින්ම අවධානය යොමු කෙරෙන්නේ, වහා සිදු කළ යුතුව පවතින සාර්ව මූල්‍ය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙතයි.  ඒ හරහා, මානව ප්‍රාග්ධනය සහ වඩාත් අවදානමකට ලක්ව ඇති ජන කොටස් වෙත සහය සැලසීමට අදහස් කෙරෙයි.   

පළමු මාස 18-24 කාල‍යෙන් අනතුරුව, හා ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවීම සහ ජාත්‍යන්තර ණය සහන හා මූල්‍ය සහය ලැබීමට යටත් ව, දිගු-කාලීන සංවර්ධන අවශ්‍යතා උදෙසා කෙරෙන ආයෝජන වෙතට CPF හි අවධානය ක්‍රමයෙන් යොමු කෙරෙනු ඇත.  එහිදී, සමාජ ආරක්ෂණය සහ මානව ප්‍රාග්ධනය උදෙසා ආයෝජනය කරන අතරම, කාන්තාවන් සහ තරුණ පිරිස්  වැඩි වශයෙන් ඉලක්ක කරමින් පුද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය කරමින්  දේශගුණික හා අභ්‍යන්තර කම්පන වලට ඔරොත්තු දීමේ දැඩි හැකියාව දිරිගැන්වීමට එකී ආයෝජන වලින් සහය ලැබෙනු ඇත.

ආර්ථිකය ගොඩ නැංවීමේ මාර්ගය වෙත සාර්ථකව යොමුවීම සඳහා ශ්‍රී ලංකාව විසින් කළ යුතු ම දෑ ලෙස කරුණු පහක් ඔබ වෙත ඉදිරිපත් කරමි.  ඒවා නම්,

1.     වඩාත් කාර්යක්ෂම සහ  අපනයන මූලික කර ගත් ආර්ථිකයක් වෙත අවධානය යොමු කිරීම  

අපනයනය පිළිබඳව ශ්‍රී ලංකාව මෙතෙක් උපයෝගී කරගෙන නොමැති වෙළඳ කටයුතු වල නියැලීමෙන් වාර්ෂිකව ඇ.ඩො. බිලියන 10ක් පමණ ඉපයිය හැකි බව අපගේ ඇස්තමේන්තු වලින් පෙන්වා දෙයි.  එමගින් අමතර රැකියා අවස්ථාවන් 142,500 ක් පමණ නිර්මාණය කළ හැකි වේ.

මෙතෙක් උපයෝගී කර නොගත් නමුදු හැකියා ශක්තිය සහිත එම කටයුතු වල නියැලීමට නම්, වෙළඳ කටයුතු ලිහිල්කරණය සහ ඵලදායී ආයෝජන වැඩි වශයෙන් ආකර්ශනය කරගැනීම ද කළ යුතු වේ.  අපනයන කටයුතු සම්බන්ධයෙන් වන දේශසීමා ගාස්තු සහ අයකිරීම් ක්‍රමයෙන් ඉවත් කරන බව අය-වැය කථාව මගින් ප්‍රකාශයට පත් කිරීම ගැන මම සතුටට පත් වෙමි.  තරගකාරිත්වය සහ අපනයනට නැඹුරු වෙළඳ කටයුතු වෙත උනන්දුව ඉහළ නැංවීම සඳහා, කල් යත්ම ඒ සම්බන්ධ ගාස්තු අඩු කිරීම ද කළ යුතු වනු ඇත.    

ඊට සමගාමීව, නිසි ලෙස සකසන ලද ආයතනික සහ නෛතික වැඩසැලැස්මක් අවශ්‍ය කෙරෙයි.  ඒ, ආයෝජන කෙරෙහි ආකර්ශනය දිනා ගැනීම සහ ඒවා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් නියාමන සහ ප්‍රතිපත්ති වාතාවරණය වැඩිදියුණු කිරීම සඳහා ය.  ආයෝජන ජීවන-චක්‍රයේ සියලු පැතිකඩ වෙත පහසුකම් සැලසීම පිණිස, පුළුල් හා ස්වාධීන ‘ආයෝජන නීතියක්’ ස්ථානගත කෙරෙන සැලසුමක් ද සහිතව එම මාවත කරා ශ්‍රී ලංකාව යොමුව තිබෙන අයුරු දක්නට ලැබීම අපට සතුටකි.   

2.     තවත් අර්බුදයක් ඇතිවීම වැළකීම පිණිස, ආර්ථික පාලනය පරිණාමනය කිරීම

වත්මන් අර්බුදයට මග සැලසූ සාර්ව මූල්‍ය පාලනයේ ප්‍රමාද දෝෂ නිවැරදි කරගනිමින්, ශක්තිමත් අන්දමින් ණය කළමනාකරණය කිරීමට ද ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු වේ.  සාර්ව මූල්‍ය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ස්වාධීන සහ පක්ෂග්‍රාහී නොවන අන්දමින් පාර්ලිමේන්තුව කටයුතු කිරීම ද මෙහිදී වැදගත් වනු ඇත.  එම මාවත කරා යොමු වන බවට බලාපොරොත්තු තැබිය හැකි පියවරක් වශයෙන් පාර්ලිමේන්තු අය-වැය කාර්යාලයක් ස්ථාපිත කිරීමේ පනත සඳහා ජුනි 20 වැනි දින පාර්ලිමේන්තු අනුමැතිය ලැබීම සැලකිය හැකිය.  

2023 අය-වැය ප්‍රකාශයෙන් දක්වා සිටි පරිදි, පාලනයේ වැඩිදියුණුව වෙත රජයේ දැඩි කැපවීම දක්නට ලැබීම මට ඉමහත් සතුටකි.  මහජන සම්පත් කළමනාකරණය පිළිබඳ විනිවිද භාවය සහ වගවීම වැඩිදියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ණය කළමනාකරණය පිළිබඳ නව නීති මගින් සිදු කෙරෙනු ඇත.  දූෂණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීම උදෙසා පුළුල් නෛතික වැඩසැලසුමක් ඇති කිරීම ද අතිශය වැදගත් ය.

3.     රජයට අයත් ආයතන (SOEs) විසින් තරගකාරිත්වය වැළැක්වීම සහ පාලනය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීම

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් රජයට අයත් ආයතනවලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය.  කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ ආයතන වෙත සම්පත් යොමු කිරීමේ අක්‍රමිකතා ඇතුළුව මහජන දේපොළ පාලනයේ දුර්වලතා ද, මූල්‍ය හානිවලට හේතු වී ඇත.  එය, තරගකාරිත්වය හා ආයෝජන අඩාල කිරීමට මෙන්ම මහජනතාව වෙත සලසන භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ද අඩාල කිරීමට ද බලපා ඇත.

අවාසනාවකට මෙන්, රජයට අයත් ආයතන බොහොමයක පවතින වාතාවරණය ද මෙයයි.  මුදල් වෙත ඇති ප්‍රවේශය කළමනාකරණය කිරීමේ දුර්වලතා නිසා, රාජ්‍ය හිමිකාරිත්වය දරන බැංකු (SOBs) වල මූල්‍ය ස්වාධීනත්වයට ද එය බලපා ඇත.

කැබිනට් මණ්ඩලය විසින් මෑතක දී අනුමත කරන ලද SOE ප්‍රතිසංස්කරණ පනත මගින්, රජයට අයත් වාණිජ ආයතන සහ රාජ්‍ය හිමිකාරිත්වය දරන බැංකු ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ඉවත් කිරීමට ගෙන ඇති පුළුල් ප්‍රවේශය හරහා තරගකාරිත්වය, ආයෝජන, සේවා සැපයුම සහ පාලනය වැඩිදියුණු කිරීමට සහ  සමාජයීය සහ පාරිසරික වශයෙන් ඒ හා බැඳුණු කාරණා සැලකිල්ලට ගෙන ඇති අයුරු පෙන්නුම් කර ඇත.

මනා පිළිවෙත් හා විනිවිද භාවයෙන් යුත් නිසි උද්යෝගය තුළින් ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉවත් කිරීමේ කාර්යයන් සම්පූර්ණයෙන් නිමා කෙරෙන බැව් සහතික කිරීම පිණිස, ඉහත කී ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාවට නැංවීමේ දී පාර්ශ්වකරුවන් සමග තදින්ම සම්බන්ධ වී කටයුතු කිරීම සහ ඉහළ-ප්‍රමිතියෙන් යුත් විශේෂඥතාව ඒකරාශි කරගැනීම අවශ්‍ය වනු ඇත.

රාජ්‍ය මූල්‍ය සමතුලිතතාවට සහ පුද්ගලික අංශයේ නායකත්වයෙන් යුතු වර්ධනයකට පරිවර්තනීය බලපෑමක් ඇති කළ හැකි මෙම බලවත් ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාවට නැංවීම පිණිස රජයට සහය දීමට තවදුරටත් අප  ඇප-කැප වී සිටිමු.

4.     අනාගත කම්පන ඇතුළුව දිළිඳු සහ අනතුරාසන්න පිරිස් වල ආරක්ෂණය ඉහළ නැංවීම සඳහා පවතින ආවරණය වැඩිදියුණු කිරීම උදෙසා රටේ සමාජ ආරක්ෂණ පද්ධතිය නොකඩවා ශක්තිමත් කිරීම   

සුභසාධ ප්‍රතිලාභ වැඩසටහන (Welfare Benefit Payments Scheme - WBPS) සම්මත කරගැනීම ගැන සහ සමාජ රෙජිස්ටරයක් ක්‍රියාත්මක කිරීම ගැන අපගේ බලවත් සතුට පළ කරමු.

ඒ පිළිබඳ ඉදිරි කටයුතු වලදී, සමාජ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාශීලී, ඵලදායී, විනිවිද භාවයෙන් සහ ඔරොත්තු දීමේ හැකියා‍වැති එකක් බවට ශ්‍රී ලංකාව සහතික කළ යුතු වේ.  එය කළ යුතු වන්නේ, (i) සවිමත් සන්නිවේදනය තුළින් ප්‍රතිලාභ ගෙනෙන විවෘත ලියාපදිංචිය; (ii) වත්මන් WBPS ප්‍රතිලාභීන් පිළිබඳව කලට-වේලාවට නැවත සහතික කරගැනීම; (iii) දුක්ගැනවිලි සම්බන්ධයෙන් සවිමත් යාන්ත්‍රණයක් වැඩිදුරටත් සකස් කිරීම මගින් සුදුසුකම් ලැබීම් පිළිබඳ තීරණ ගැන ඕනෑම අයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම; (iv) සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් වෙත ඒකාබද්ධ සහය ලබාදීම මගින් අනෙකුත් සමාජ වැඩසටහන් විසින් සේවාවන් සැලසීමේ දී, සමාජ රෙජිස්ටරය යොදා ගැනීමට අවස්ථාව සැලසීම; (v) කම්පන අවස්ථාවක් උද්ගත වුවහොත්, සේවාවන් සහ/හෝ ප්‍රතිලාභ සීරු-මාරු කිරීම සම්බන්ධයෙන් මැන බැලීමට WBPS වෙත හැකියාව ලැබෙන පරිදි, අනුගත කළ හැකි විශේෂාංග එකී සමාජ ආරක්ෂණ පද්ධතියට ඇතුළත් කිරීම.       

5.     මානව ප්‍රාග්ධනය වෙත ආයෝජන වලට ප්‍රමුඛතාව ලබාදීම

මුල් වසර වලදී සහ, මූලික හා ද්විතීයික අධ්‍යාපනය අහිමි වීම් ඉහළ යාම සම්බන්ධයෙන් නිසි කටයුතු සිදු කිරීම මෙන්ම, ගුණාත්මක භාවයෙන් යුතු අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය දිරිගැන්වීම ද ඉතාමත් වැදගත් වන්නේ, දැනටමත් බෙහෙවින් අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දී සිටින අය මග නොහැරුණු බවට හා ඔවුන් සතු පූර්ණ හැකියා ශක්තිය ළඟා කරගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙන බවට සහතික වීම පිණිස ය.

ඊළඟ එළඹෙනු ඇති කම්පන වලට ප්‍රතිචාර දැක්වීමේ දී, සෞඛ්‍ය හා ආපදා අවදානම් කළමනාකරණය සහ වසංගත සඳහා පෙර-සූදානම් වීමේ ආවේක්ෂණ පද්ධති  අතර සබඳතා ශක්තිමත් කිරීම වැදගත් වනු ඇත.

අවසාන වශයෙන්, යොවුන් හා වැඩිහිටියන් තුළ කුසලතා සංවර්ධනය සහ කුසලතා වැඩිදියුණුව උදෙසා තෘතියික සහ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව (TVET) වෙත ප්‍රවේශය සහ එහි ගුණාත්මක භාවය ශක්තිමත් කිරීම ද ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාව උදෙසා නිසැකවම අවශ්‍ය කෙරෙන්නේ, ප්‍රතිසංස්කරණයන් සැබැවින්ම ක්‍රියාවට නැංවීමයි.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ අසීරු විය හැකි වූ ගැඹුරු හා ස්ථිර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් ක්‍රියාවට නැංවීමේ හැකියාවැති සුවිශේෂී අවස්ථාවක් මෙම අර්බුදය මගින් සලසා ඇත.

නමුත්, දැන් අප කරන්නේ, කාලයට එරෙහිව සටන් වැදීමකි.  මෙවැනි ස්වාභාවයේ තවත් අර්බුදයකට මුහුණ දීමේ ශක්තියක් ශ්‍රී ලංකාවට නොමැත.  එබැවින්, අනාගත කම්පන වලට බලසම්පන්න ලෙස මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීමට හොඳම අවස්ථාව බවට මෙම තත්ත්වය හරවා ගත යුතු ය.

මාධ්‍යවේදීන්, ජනමාධ්‍යය සහ ප්‍රවීණයන් ඒ සඳහා දිරිගැන්වීමට මම කැමැත්තෙමි - නමුත්, වඩාත් වැදගත් වන්නේ, පුරවැසියන් හැටියට, මෙකී ඉතාමත් වැදගත් ප්‍රතිසංස්කරණයන්ට සහය දීම සහ ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණ-ගන්නන් වගවීමට ලක් කිරීමයි.  එවිට, කඩිනමින් හා ශක්ති සම්පන්නව මෙම අර්බුදයෙන් ගැලවීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.  අතීතයේ දී ප්‍රතිසංස්කරණයන් ආපිට හැරවූ ආකාරයන් ශ්‍රී ලංකාව අත්විඳ තිබේ.  සංවර්ධන හවුල්කරුවන් ඇතුළු සියලුදෙනා හට ම මා ඉතා ඕනෑකමින් කියා සිටින්නේ, අසීරු ප්‍රතිසංස්කරණයන්ට අනුව රජය ක්‍රියා කරන බවට සහතික වීම පිණිස සැවොම එක්ව කටයුතු කළ යුතු බවයි.

එය වහා සිදුවිය යුත්තකි.  එය කළ හැකි දෙයකි.  මෙම වැදගත් මොහොතේ දී, වඩාත් හොඳින් ආර්ථිකය නැවත ගොඩ නැංවීම කරා පිණිස ශ්‍රී ලංකාවට සහය ලබාදීමට අප සැවොම එක්විය යුතුයි.

බොහොම ස්තුතියි!  නන්ඩ්‍රි! 

Blogs

    loader image

WHAT'S NEW

    loader image