Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය2024, ඔක්තෝම්බර් 10

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇත; අපනයන ඉහළ නැංවීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අඛණ්ඩ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි

කොළඹ, 2024 ඔක්තෝබර් 10 - ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති අතර, 2024 දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය පෙර පුරෝකථනයන් අභිබවා යයි. කර්මාන්ත  හා සංචාරක අංශ මගින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බව ලෝක බැංකුව පවසයි.

අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ-වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මගින් රටෙහි  අවධානමට ලක් විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත  රඳා පවතින බවට අනතුරු අඟවයි. අපනයන ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීම, ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ දුප්පත්කම, ආහාර අනාරක්ෂිතභාවය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති අවදානම් වැනි අභියෝගවලට විසඳුම් සෙවීම ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ, වඩාත් ඇතුළත් සහ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බව ද මෙම වාර්තාව පවසයි.

ජාත්‍යන්තර වෙළඳාම තුළින් ඉහළ සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට රටට ඇති හැකියාව එම වාර්තාවෙන් අවධාරණය කෙරේ. දළ වශයෙන් නව රැකියා 142,500 ක් උත්පාදනය කළ හැකි වාර්ෂිකව ඩොලර් බිලියන 10ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අපනයන හැකියාවක් ශ්‍රී ලංකාව සතු බව ද ලෝක බැංකුව පවසයි. අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ නම්, නිෂ්පාදන, සේවා සහ කෘෂිකර්මාන්තයේ අපනයන විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට සැලකිය යුතු අවස්ථාවක් තිබේ.

“2023 දී කාර්තු හතරක ආර්ථික වර්ධනයකින් සහ ජංගම ගිණුමේ අතිරික්තයකින් සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථායිතාව සැලකිය යුතු සන්ධිස්ථානයක්” යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පැවසීය. “මේ මොහොතේ, ශ්‍රී ලංකාවට සිය අපනයන විභවය සාක්ෂාත් කර ගැනීමට සැබෑ අවස්ථාවක් තිබේ, එය වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක් ලෙස අපි ඇස්තමේන්තු කරන්නෙමු. ගෝලීය වටිනාකම් දාමයන් තුළ සිය සහභාගීත්වය ගැඹුරු කිරීමටත්, රටෙහි  භූගෝලීය පිහිටීම සහ රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට උපකාරවන නිරන්තරයෙන්  විකාශනය වන ගෝලීය පරිසරයේ ප්‍රයෝජන ගැනීමටත් ශ්‍රී ලංකාවට විවෘත අවස්ථාවක් තිබේ. වැදගත් ආර්ථික සහ රාජ්‍ය පාලනයට අදාළ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවට මේ අවස්ථා  පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසයි.”

ඉදිරිය කාලය දෙස බලන විට මෙම වාර්තාව මඟින් 2025 වර්ෂය සඳහා 3.5% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පූරෝකථනය කර ඇත. ඉන් පසුව ආර්ථික අර්බුදය තුලින් සිදුවූ බලපෑම් හේතුවෙන් ආර්ථික වර්ධනය මධ්‍ය කාලීනව මධ්‍යස්ථ මාවතක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දරිද්‍රතාවය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් 2026 දක්වා 20% ට වඩා ඉහල මට්ටමක පවතිනු ඇත. උද්ධමනය 2024 දී මහ බැංකුවේ ඉලක්කය වන සියයට 5 ට වඩා පහළින් පැවතිය හැකි අතර, ඉල්ලුම වැඩි වන විට උද්ධමනය ක්‍රමයෙන් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2024 වර්ෂයේදී සංචාරක ඉපැයිම් සහ විදේශ ප්‍රේෂණ මගින් ලැබෙන දායකත්වය මූලික කරගත් ජංගම ගිණුම් අතිරික්තයක් පවතිනු ඇතැයි මෙම වාර්තාව තවදුරටත් පුරෝකථනය කර ඇත.

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම යනු, දකුණු ආසියා සංවර්ධන ඇගයුමෙහි සහායක කොටසකි.  එය, ලෝක බැංකුව විසින් වසරකට දෙවතාවක් නිකුත් කරනු ලබන වාර්තාවකි.  දකුණු ආසියානු සංවර්ධන ඇගයුම, කලාපයේ ආර්ථික සංවර්ධනය සහ ඉදිරි ගමන විමසා බැලීම හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රටවල් මුහුණ දෙන අභියෝග විශ්ලේෂණය කිරීම සිදු කරයි. මෙම වාර්තාවේ 2024 ඔක්තෝබර් සංස්කරණය, කාන්තාවන්, රැකියා සහ වර්ධනය (Women, Jobs, and Growth), මේ වසරේ දකුණු ආසියාවේ 6.4% ක වර්ධනයක් ප්‍රක්ෂේපණය කරයි. එය ලොව වේගයෙන්ම වර්ධනය වන ‘නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික’( Emerging Market and Developing Economy) කලාපය බවට පත් කරයි. ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සහ ගෝලීය වෙළඳාම සහ ආයෝජන සඳහා තවදුරටත් විවෘත කිරීම කලාපය තවත් වේගයෙන් වර්ධනය වීමට සහ එහි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන බව ලෝක බැංකුවේ කලාපීය දැක්ම පවසයි.

Image

Source: World Bank, Poverty & Equity and Macroeconomics, Trade & Investment Global Practices. Emissions data sourced from CAIT and OECD.

Notes: e = estimate, f = forecast.

(a)    Calculations based on SAR-POV harmonization, using 2019-HIES. Actual data: 2019. Nowcast: 2020-2023. Forecasts are from 2024 to 2026.

සම්බන්ධ වන්න

කොළඹ දී
බුද්ධි ෆීලික්ස්ගේ
වොෂින්ටන් හිදී
ඩයනා චන්ග්

Blogs

    loader image

WHAT'S NEW

    loader image