ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,620ක වෙරළ තීරයක් සහ ඉන්දියන් සාගරයේ වර්ග කිලෝමීටර් 517,000ක සුවිශේෂී ආර්ථික කලාපයක් හිමිව ඇති අතර, එහි මසුන් ඇල්ලීමට, කැනීම් කටයුතුවලට සහ අනෙකුත් ආර්ථික කටයුතු සිදු කිරීමට අයිතිය තිබේ. කෙසේ වෙතත්, මෙම කලාපය තුළ අසීමිත මත්ස්‍ය සම්පතක් ඇති බවක් මින් අදහස් නොකෙරේ. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 50,000 කට වැඩි ප්‍රමාණයක් අධික ලෙස මසුන් ඇල්ලීම නිසා මත්ස්‍ය සම්පතට නැවත වර්ධනය වීමට ඉඩ දීමේ අවශ්‍යතාවක් මතුවී තිබේ. යාත්‍රා සහ ආම්පන්න ප්‍රමාණ ඉහළයත්ම තවදුරටත් මත්ස්‍ය අස්වැන්න අඩුව යනු ඇත.
තිරසාර ධීවර කර්මාන්තයකට සහාය
ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සැලකිය යුතු දායකත්වයක් සපයන කහවරල් කෙලවල්ලා අධික ලෙස ඇල්ලීම නිසා ඇතිවී ඇති තත්වය සලක බලන්න. වීශාල ඉල්ලුමක් තිබුනත් මාළු අධික ලෙස ඇල්ලීම නිසා කහවරල් කෙලවල්ලන්ගේ අස්වැන්න වැඩි කිරීමට නොහැකි වී තිබේ . කහවරල් කෙලවල්ලන් මත්ස්‍ය සම්පතට නැවත වර්ධනය වීමට නම් මාළු අල්ලන සියලුම රටවල ඒකාබද්ධ ක්‍රියාමාර්ග අවශ්‍ය වන අතර එය සිදු කිරීමට ශ්‍රී ලංකාවට නායකත්වය ගත හැකි ය. කරදිය මත්ස්‍ය තොග ඉහළ අගයක පවත්වා ගැනීම සඳහා දත්ත පදනම් වූ සහ සහයෝගීතා ධීවර කළමනාකරණ සැලසුම් දියත් කිරීම වැදගත් වනු ඇත.
නිසි කළමනාකාරීත්වයකින් යුතුව මත්ස්‍ය අස්වනු නෙළා ගැනීම තුළින් ධීවර කර්මාන්තයේ ආදායම් වැඩි කිරීමට සහ පුහුණු රැකියා උත්පාදනය කිරීමට හැකි වේ. එසේම ඉන්දියානු සාගර ටූනා කොමිසමෙ හි කෙළවල්ලන් පුනර්ජනනය සඳහා වූ සැලැස්මට ද අනුකූල විය හැකි වේ. “මේ පියවර ලෝක බැංකුවේ කොවිඩ්-19 වලින් හිස ඔසවීම සඳහා සැකසූ හරිත, ඔරොත්තු දීමෙන් යුතු, සැමට අවස්ථාව සපයන සංවර්ධන රාමුවටත් අදාල වෙනවා,” මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදාද්-සර්වෝස් පවසයි.
දැනට ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සති 5ක් මුහුදේ ගත කරන 5,000කට ආසන්න “බහු දින” ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරණ නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙළවල්ලා මාළු වලින් අඩක් පමණ වෙරළට ගෙන ඒමට පෙරම නරක්වී යයි. මේ නිසා අපනයනයට සුදුසු වන්නේ කෙළවල්ලා අස්වැන්නෙන් ඉතා කුඩා කොටසක් පමණකි. මාළු නරක් වීම අවම කිරීමෙන් අපනයන ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකි වේ. නාවික යාත්‍රා නවීකරණය, වැඩිදියුණු කළ මත්ස්‍ය ඇල්ලෙීමේ ක්‍රමෝපායයන්, සහ ඇල්ලීම වැඩි නොකර මුහුදේ ගත කරන කාලය අඩු කිරීම සඳහා වැඩි දියුණු කළ ප්‍රවාහන විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් මෙය විසඳා ගත හැකිය.
සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි වරාය පහසුකම් වැඩිදියුණු කිරීම ද වැදගත් වනු ඇත. යාත්‍රා ඉදිකිරීම, නැවත එකලස් කිරීම සහ සේවා සැපයීම තුළින් පුහුණු ශ්‍රමිකයන්ට රැකියා උත්පාදනය වනු ඇත. කෙළවල්ලාගෙන් ඔබ්බට මත්ස්‍ය අස්වැන්න විවිධාංගීකරණය කිරීමට සහ අගය වැඩි කිරීමට ද හැකියාව ලැබේ.
පවතින තොග තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීමේ දී ජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළින් යහපත් ධීවර භාවිත, තොග තත්ත්වය සහ වෙළඳපල පිළිගැනීම වැඩිදියුණු කළ හැකි ආකාරයට නිල් පිහිනුම් කකුළුවන් සම්බන්ධයෙන් ඇතිවූ මෑත කාලීන සංසිද්ධිය හොඳ උදාහරණයකි. මෙහිදී කඩොලාන සහ ගල්පර වැනි වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම ද ඉතා වැදගත් වේ. මෙම පරිසර පද්ධති නාගරීකරණය, සංවර්ධන කටයුතු, කාලගුණික සහ දේශගුණික විපර්යාස හේතුවෙන් විනාශ වෙමින් පවතියි.