ජීවනෝපාය මාර්ග සහ සුබසාධනය ඉහළ නැංවීමේදී ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ඇත කරගෙන ඇත
ජීවන තත්ත්වය ඉහළ නැංවීමේදී සහ දරිද්‍රතාවය අඩු කිරීමේදී ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ලබා ඇත. කොවිඩ්-19 අර්බුදයට පෙර දශකය තුළ දරිද්‍රතාව අඩු වෙමින් පැවතුණි. ලෝක බැංකුවේ $3.20 ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව අනුව (2011 PPP) ගත් කල ලංකාවේ දරිද්‍රතාවය 2012/13 වසරේදී වාර්තා වූ සියයට 16.2 සිට 2016 වන විය සියයට 11 දක්වා අඩු විය. මෙම අගය 2019 දී සියයට 9.2 දක්වා තවදුරටත් පහත වැටී ඇති බව ආර්ථික ඇස්තමේන්තු/ගණනය කිරීම් වලින් පෙන්නුම් කරයි. එමෙන්ම මීට සමගාමීව ශ්‍රී ලංකාව සුබසාධනය පිළිබඳ අනෙකුත් අංශවල ද යහපත් ප්‍රගතියක් පෙන්නුම් කරනු ලැබීය. මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය හා රටෙන් බහුතරයකට විදුලිය ලබා ගැනීමේ හැකියාව අත් පත් කර ගැනීම ප්‍රශංසනීය ජයග්‍රහණ ලෙස හඳුනාගත හැකිය.
එවැනි සුබසාධන තත්වයේ ප්‍රගතිට සාමාන්‍යයෙන් හේතු වන්නේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු වීමයි. “තිරසාර ලෙස දරිද්‍රතාවය අඩු වීමට බලපා ඇති ප්‍රධාන කරුණක් වන්නේ, ගොවිපළ-නොවන අංශවල ශ්‍රම ආදායම් වර්‍ධනයයි. ඉන් ඵලදායිතාව වැඩිදියුණු වූ අතර ශ්‍රම බලකායෙන් කොටසක් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී වඩා හොඳ වැටුප් ලබන අංශ වෙත මාරු වුණා. මෙම ක්‍රියාවලිය ආර්ථික පරිවර්තනයk (Economic transformation) ලෙස හැඳින්විය හැකියි. ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ යෝන් සූ කිම් පවසයි. පසුගිය දශකය තුල රට තුල කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදුවූ බව නිරීක්ෂණය කල හැකිය. යටිතල පහසුකම් ඉහළ නැංවීමට සිදු කල ආයෝජන මඟින් වෙළඳපොළ හා සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරන ලදි. ගොවිපොළ-නොවන අංශ පුළුල් විය. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය වාර්තාගත ප්‍රගතියක් අත්පත් කරගත් අතර වසර 10 කටත් අඩු කාලයකදී රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සිව් ගුණයකින් වැඩි විය. එමඟින් ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස නම් කරන ලදී. එසේම Uber, PickMe, සහ Airbnb වැනි සේවාවන් නාගරික ප්‍රදේශවල ජනප්‍රියත්වයට පත් විය.
කොවිඩ්-19 අර්බුදය සමඟ දරිද්‍රතාවය සහ අසමානතාවය සැලකිය යුතු ලෙස වැඩි වීමට හේතු විය.
කෙසේ වෙතත්, වසර ගණනාවක් තිස්සේ අත්පත් කරගත් ප්‍රගතිය හදිසියේ නතරවීමට කොවිඩ්-19 හේතු වූ අතර, ඒ හේතුවෙන් ආර්ථිකය වාර්තාගත ලෙස හැකිලීමකට ලක් විය. වසංගතයත් සමඟ රැකියා හා ඉපැයීම් අහිමි වීම් බහුල ලෙස වාර්තා විය. $3.20 දරිද්‍රතාවය 2020 දී සියයට 11.7 දක්වා හෝ මිලියන භාගයකට අධික ජනගහනයකින් ඉහළ ගොස් ඇතැයි ගණන් බලා ඇත. එය වසර පහක ප්‍රගතියකට සමාන විශාල පසුබෑමකි. විශාල අවිධිමත් අංශයක් සහ දුර්වල සමාජ ආරක්‍ෂණ ක්‍රම හේතුවෙන් වැඩ කරන ජනතාව අතර ආර්ථික අවදානම ඉහළ මට්ටමක පවතියි. වසංගතය මැඩපැවැත්වීමට සහ ආර්ථික අර්බුද අවම කිරීමට රජය ක්‍ෂණිකව ක්‍රියා කළ නමුත් එහි පූර්ණ බලපෑමෙන් මිදීමට තරම් එම පියවර ප්‍රමාණවත් නොවීය. එමෙන්ම වසංගතය සමඟ සිදුවූ අහිතකර ආර්ථික බලපෑම් හේතුනේ අසමානතාවය තව දුරටත් ඉහළ යාමට ඉඩ ඇත.